අනුරාධපුර පිහිටා ඇති ජේතවනාරාමය එහි
ඇති ප්‍රධාන දාගැබවේ. පාරිභෝගික චෛත්‍යයකි. අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලවේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදිකරවූවේ මහසෙන් රජු (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යක් වේ.
පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වුනේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
අනුරාධපුරයයේ පිහිටි ජේතවනාරාමය යනු දැවැන්ත ස්ථූපයක් පමණක් නොවන අතර එය අනුරාධපුර මහාවිහාර පරිශ්රය, අභයගිරි ආරාමික පරිශ්රය වැනිම වූ විශාල භූමියක විසිරී ඇති ආරාමික පරිශ්රයකි. බොහෝ දෙනෙකු දැවැන්ත ජේතවන ස්තූපය පමණක් දැක, වැඳ පුදාගෙන එන නමුත් ජේතවනාරාමය යනු අති විශාල ප්රදේශයක විහිදි ඇති වටිනා නටබුන් රාශියකින් සමන්විත ප්රදේශයකි.
ජේතවනාරාමය ඉදිකරනු ලබූයේ ක්රි.ව.276-303 දී රජකල මහසෙන් රජතුමාගේ සමයේදීය. අභයගිරි විහාරයෙන් වෙන් වී ගිය 300ක පමණ භික්ෂූන් කණ්ඩායමක් දක්ඛිණ විහාරය මූලස්ථානය කොටගෙන සිය ආගමික කටයුතු කරගෙන ගොස් ඇති අතර එම පිරිස “සාගලික නිකාය” ලෙස හඳුන්වා ඇත. “සාගල” නම් භික්ෂූන් වහනසේ නමකගෙ මූලිකත්වයෙන් ඇරඹි නිසා එනමින් හඳුන්වා ඇති අතර මහසෙන් රජු විසින් මහා විහාරයට අයත් වූ භූමියක ජේතවන විහාරය ඉදිකොට පූජා කර ඇත්තේ මෙම දක්ඛිණ විහාරයේ විසූ “තිස්ස” නම් භික්ෂුවකටය. මහසෙන් රජු විසින් වැඩ ආරම්භ කරන ලද නමුත් ජේතවන විහාරයේ වැඩ අවසන් කරන ලද්දේ එතුමාගේ පුත් කිතිසිරිමෙවන් රජු විසිනි.
ජේතවන විහාර භූමියෙන් හමු වී ඇති ශිලා ලේඛනවලද, පැරණි සිංහල මූලාශ්රයන්හිද මෙම වෙහෙර හඳුන්වා ඇත්තේ “දෙනා වෙහෙර”, "දෙනා රජ්මහා වෙහෙර" ආදී නම් වලිනි. ජෝති හෝ ජෝතිය වන උයනෙහි ඉදිකළ නිසා එහි වර්තමාන නාමය වන “ජේතවන විහාරය” වී යැයි සලකේ. ආරාමයේ ප්රධානතම අංගය වනය ජේතවන ස්ථූපය ඉදිකර ඇත්තේ බුදුන්වහන්සේගේ පටීධාතුවෙන් කැපූ කොටසක් නිධන් කරමින් බවට පූජාවලිය, පැරකුම්බා සිරිත වැනි සාහිත්ය මූලාශ්රයන්හි තොරතුරු දක්නට ලැබේ.
මහසෙන් සමයෙන් පසුව වරින් අර පාලකයන් රැසක් විසින් ජේතවන විහාරය විවිධ පිළිසකරකිරීම් වලට ලක් කර ඇත. මහ පරාක්රමබාහු රජු විසින් අනුරාධපුර මහාසෑ තුනෙහි පිළිසකර කිරීම් සිදුකර ඇති අතර එහිදී මෙම ජේතවන ස්තූපයද පිළිසකර කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ප්රතිමාඝර, සන්නිපාතශාලා, දානශාලා , බෝධිඝර ආදී අංග සම්පූර්ණ විහාරයකට අවැසි සියලුම අංගයන් මෙහි අඩංගු වන නමුත් බොහෝවිට නරඹන්නන්, බැතිමතුන් විසින් අවධානය යොමුකරනු ලබන්නේ ප්රධානතම අංගය වන ස්ථූපයට පමණි.
ජේතවනාරාමය පරිශ්රයේ ස්තූපය හැරුණුකොට දක්න්ට ලැබෙන සුවිශේෂීතම වාස්තු විද්යාත්මක අංගයක් වන්නේ පිළිමගෙයයි. ගෙඩිගේ සම්ප්රදායට අනුකූලව ගඩොලින් නිර්මිත අර්ධගෝලාකාර වහලයකින් සමන්විතව තිබී ඇති මෙම සුවිසල් පිළිමගෙය අනුරාධපුර අවසන් සමයට අයත් යැයි විශ්වාසය කෙරේ. දැනට ශේෂව ඇති අඩි 25ක් පමණ උසැති ශෛලමය උළුවස්ස, එහි ඇති සුවිසල් ගර්භ පාත්රය සහ පද්මාසනය අනුව මෙම පිළිම ගෙය තුළ සුවිසල් බුද්ධ ප්රතිමාවක් තිබූ බවට අනුමාන කල හැකිය. එසේම මෙම ප්රධාන පිළිම ගෙයට දෙපසින් පරිවාර පිළිම ගෙවල් දෙකකද සාධක දක්නට ලැබේ. මෙහි ඇති ගර්භ පාත්රය සහ පද්මාසනය ගින්නෙන් දැවීගිය ලක්ෂණ පෙන්නුම් කරන බව එහි ඇති පු.වි.දෙ. විස්තර පුවරුවේ දක්වා ඇත.
එසේම ළිං, කැසිකිළි, වැසිකිලි, පොකුණු වැනි ආරාමයකට ඇවසි අනෙකුත් අංගයන්ගෙන් ද ජේතවනාරාමය පරිපූර්ණව තිබූ බවට සාධක දක්නට ලැබේ. භික්ෂූන්ගේ ජල පරිභෝජනය සඳහ ඉදිකරන ලද ළිං අතර පහළට බැසීම සඳහා පියගැට පෙළක්ද සහිතව ඉදිකර ඇති ළිං වර්තමානයේදිද මැනවින්ද ක්නට ලැබේ. එසේම ආරාමයකට අත්යවශ්ය අංගයක් වන වැසිකිලි සහ කැසිකිළි ද මෙම ජේතවනාරාමය පරිශ්රයෙන් හමු වී එති අතර එම කුටීර ඉතාමත් දියුණු පරිසර හිතකාමී ආකාරයට නිමවා ඇත
ප්රධාන වශයෙන්ම ජේතවන පරිශ්රයෙන් පොකුණු තුනක් හමු වේ. ඒ අතර විශාලතම පොකුණ “තිඹිරි පොකුණ” ලෙස හඳුන්වනු ලබන පොකුණ වේ. චතුරශ්රාකාර හැඩැති මෙම පොකුණ දිගින් මීටර 100කට ආසන්නවද, පළලින් මිටර 30ක් පමණද වේ. තවත් පොකුණක් ජේතවන දාන ශාලාව අසල දක්නට ලැබේ. මෙය මීටර 16 x 7 ප්රමාණයේ පොකුණක් වන අතර ඉතාමත් අලංකාර ලෙස ජ්යාමිතක සැලසුමකින් යුතුව කලුගලින් නිර්මාණය කර ඇත. තෙවෙනි පොකුණ වත්මන් ජේතවන කෞතුකාගාරය පිටුපස දක්නට ලැබේ.
ජේතවන පරිශ්රය නැරඹීමට යන ඔබ සැම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් වනුයේ ජේතවන කෞතුකාගාරයයි. මධ්යම සංස්කෘතික අරමුදලේ (CCF) ජේතවන ව්යාපෘතිය මගින් පවත්වාගෙන යනු ලබන මෙම කෞතුකාගාරය ජේතවන ආරාමික පරිශ්රය තුළම දක්නට ලැබෙන අතර මෙහි ජේතවන පුරාවිද්යා ව්යාපෘතිය තුළින් හමුවූ අති විශාල පුරාවස්තූන් රාශියක් දක්නට ලැබේ. පුරාවිද්යාත්මක , ඓතිහාසික , කලාත්මක ආදී මිල කල නොහැකි වටිනාකම්වලින් යුතු වස්තූන් රාශියක්මෙ හි තැන්පත් කර ඇති අතර මෙමඟින් සමස්ථ ජේතවනාරාමය පිළිබඳවත් අනුරාධපුර යුගය පිළිබඳවත් බොහෝ තොරතුරු ලබාගත හැකිය.
ආලෝකවත් වෙමින් රාත්‍රියෙහි ඔබ කිසිදා දැක නැති ජේතවනාරාමය දාගැබෙහි අසිරිය පහත වීඩියෝවෙන් නරඹන්න...👍🙏
කර්තෘ අයිතිය මුල් හිමිකරු සතුය
0 Comments