ලංකාවේ පුස්කොළ පොත් කෘතිම බුද්ධියෙන් කියවන සුදු ජාතිකයෝ


ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් කෘතිම බුද්ධියෙන් කියවන සුදු ජාතිකයෝ

ක්‍රි: පූර්ව 3000 බැබිලෝනියාවේ මැටි අකුරු කියවූ කෘත්‍රිම බුද්ධිය පුස්කොළ පොතේ දැනුමත් උදුරා ගනීද?

1981දී ආරම්භ කෙරුණු සුප්‍රකට ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය වූයේ ඕනෑම පෞරාණික ලියවිල්ලක් කියවිය හැකි බව පෙනෙන පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. බොහෝ විට එවැනි ලියවිල්ලක් හෝ ගල් පුවරුවක කෙටූ සටහනක් ඔස්සේ අදාළ කෞතුක වස්තුව සොයා ගමනේ යෙදෙන මහාචාර්යවරයා වික්‍රමාන්විත ක්‍රියා රැසකට මුහුණ දෙමින් එම ඓතිහාසික පුරාවස්තුව සොයා රජයට බාර දෙයි. බොහෝ අවස්ථාවල පුරාවස්තු කොල්ලයේ යෙදෙන ජර්මානුන් ප්‍රමුඛ සතුරන් විසින් ඔහුව නොමරා ඉතිරි කරනු ලබන්නේ අන් කිසිවක් නිසා නොව, ඔවුනට මේ පිළිබඳව කියවා තොරතුරු ලබා ගැනීමට තරම් දැනුමක් නැති බැවිනි.

නමුත් මේ මොහොත වන විට මහාචාර්ය ජෝන්ස් සමග තරග කළ හැකි නව ක්‍රමවේදයක් බිහිවී තිබේ. එය නම් කෘත්‍රිම බුද්ධියයි. මේ මොහොත වන විට දැන ගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව කෘත්‍රිම බුද්ධිය විදෙස් රටවල ඇති අපේ පුස්කොල පොත් කියවන්නට පටන් ගෙන තිබේ.

අප රටට නිදහස ලබාදෙද්දී බ්‍රිතාන්‍ය පාලකයින් විසින් සිංහාසනය, ඔටුන්න, මෙන්ම කැප්පෙටිපොළ නිලමේගේ හිස් කබල ආදි වශයෙන් ඔවුන් රැගෙන ගිය අපේ ජාතික වස්තූන් ආපසු ලබාදෙනු ලැබුවද, ඒවා සමග ගෙන ගිය පුස්කොළ පොත් ආපසු භාර දුන්නේ නැත. මෙම පුස්කොළ පොත් ආපසු ලබාගත නොහැකි නමුදු ඒවායේ පිටපත් ලබාගත හැකි බැවින් රජයේ වගකිව යුතු නිලධාරීන් එම පිටපත් හෝ ලබා ගැනීමට කටයුතු යෙදිය යුතු බව මේ පිළිබඳව අවධානය යොමු කරන සංවිධානවල අදහස වී තිබේ.

ඔවුන් පවසන ආකාරයට ලන්ඩන් නගරයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ආසියානු අංශය තුළ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය පොත් සිය ගණනාවක් තිබේ. අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා වූ මෙම කෘතීන් අතර, ලංකාවේ මුල්ම වෛද්‍ය සංග්‍රහය වූ බුද්ධදාස රජතුමා විසින් රචිත සාරාර්ථ සංග්‍රහය පිටපත් තුනක් ද වෙයි. මහනුවර යුගයේ ලියවුණු සාරාර්ථ සංග්‍රහය නම් තවත් කෘතියක් ගැන ඉතිහාසයේ සඳහන්ව ඇති නමුදු මෙය එම කෘතිය නොවන බව සනාථ වී තිබෙන්නේ යයි ඒ පිළිබඳව පර්යේෂණයන්හි නිරත වන්නන්ගේ අදහස වී ඇත.

මේ හැරුණු කල සර්ප විෂ වෛද්‍ය විද්‍යාව අරබයා ලියවුණු සර්ප වෙද පොත්, විෂ විදිය, විෂ බෙහෙත්, විෂ ලක්ෂණ ආදී පොත් මෙන්ම අප රටේ මුල්ම සිංහල වෙද පොත ලෙස සැලකෙන ගෝකාර්ණය නමැති ග්‍රන්ථය ද දැනට ඇත්තේ මෙම ලන්ඩන් කෞතුකාගාරයේ ය. වෙද පොත නමින් හැඳින්වෙන පුස්කොළ පොතෙහි පිටපත් 11 ක්ද මෙම තොගයට ඇතුළත් ය. එහි කෞතුක භාණ්ඩ අතරට ඇතුළත් වන අනෙකුත් වටිනා ග්‍රන්ථ අතර නාඩි ශාස්ත්‍රය, විදුම්, පිළිස්සුම්, ශල්‍ය වෛද්‍ය ක්‍රම, රෝග අරිෂ්ටය ආදිය ද වේ. මොනයම් හෝ වාසනාවකට මෙන් මින් කීපයක පමණ පිටපත් අප රටෙහි ඉතිරිව පවතින බව මෙම පරීක්ෂකයන්ගේ අදහස වී ඇත.

මෙහි ඇති නරකම තත්ත්වය ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ කෘත්‍රිම බුද්ධිය තුළින් මෙම පොත පතෙහි වූ දැනුම සොරා ගැනීම දැනටමත් ඊශ්‍රායල් ජාතිකයින් විසින් අරඹා ඇති බවය. එපමණකින් නොනැවතුණු ඔවුන් එම තාක්ෂණය ඔවුන්ගේ නවීන යුද ගුවන් යානා තාක්ෂණයට ද යොදා ගන්නා බව මේ පිළිබඳව අවධානය යොමු කරන පිරිස පවසති.

නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් සුප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතා පවසන්නේ පසුගිය ශත වර්ෂයේ මුල් භාගයේදී ඉන්දියානු බ්‍රාහ්මණයකු අතින් ලියවුණු වෛමානික විමාන ශාස්ත්‍රය නමැති ග්‍රන්ථය පාදක කර ගනිමින් මේ පිළිබඳව අදහසක් ඇති වී තිබෙන බව මිස එය සියයට සීයයක්ම තහවුරු වූ පුවතක් නොවන බවය.

අපගේ පැරණි පුස්කොළ පොත් විදෙස් ගතවීම ගැන කතා කරන ඒ මහතා පවසන්නේ මේවා එංගලන්තයේ පමණක් නොව, ඇමෙරිකාව, කැනඩාව ඇතුළු තවත් රටවල ද ඇති බවය. එසේ තිබෙන ග්‍රන්ථ මොනවාදැයි ඒ සෑම රටක්ම හෙළිකර ඇති නිසා මෙය රහසිගත කටයුත්තක් නොවන බව ඔහුගේ අදහසයි.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතාගේ ඊළඟ අදහස වන්නේ කෘත්‍රිම බුද්ධිය මගින් පුස්කොළ පොත් කියවීම අද ඊයේ පටන් ගත් දෙයක් නොවන බවය. එහෙත් සංස්කෘත භාෂාවෙන් හෝ සිංහලෙන් ලියූ ග්‍රන්ථවල හිතාමතාම නිර්මාණය කර ඇති වෙද ගැට ආදීය කෘත්‍රිම බුද්ධියෙන් තේරුම් ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව ඔහු පවසයි. මක් නිසා ද යත් ඒවායේ නිසි අරුත් දැන ගැනීම උදෙසා එකල පැවැති සංස්කෘතිය, සමාජ පරිසරය, බව භෝග, ජනයාගේ ඇවතුම් පැවැතුම් භාවිතයේ එන යෙදුම් ආදී කාරණා පිළිබඳ අති සංකීර්ණ අවබෝධයක් අවශ්‍ය වන බැවිනි. සිංහල භාෂාව භාවිතා කරන අප රටේ ජනයාට වුව ලෙහෙසියෙන් තේරුම් ගත නොහැකි මෙම වෙද ගැට වචනාර්ථයෙන් පරිවර්තනය කරගත හැකි වුවද, එම දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරයට ලබා ගැනීම කෘත්‍රිම බුද්ධියට වුවද ලෙහෙසි පහසු කරුණක් නොවිය හැකි බව වෛද්‍ය ඩැනිස්ටර් මහතාගේ අදහසයි. නමුත් සිංහල අටුවා මෙන්ම ත්‍රිපිටකය ආදියෙහි ඇතැම් කරුණු ද කියවා ගැනීමට කෘත්‍රිම බුද්ධිය සමත් විය හැකි යයි ඔහු පවසයි.

අප රටෙන් ගෙන ගිය පැරණි පුස්කොළ පොත්වල දැනුම බටහිර ජාතිකයින් විසින් උකහා ගැනීමට යන්නේ යයි වූ ආරංචිය පැතිර ගියේ 2023 ෆෙඩ්රිකා නිකොලාර්දි නමැති පර්යේෂිකාවක විසින් වසර දෙදහසක් පැරණි පැපිරස් පත්‍රිකාවක තිබුණේ කුමක්දැයි කියවා ගැනීමට සමත්වීම නිසා ය.

ඇයට එම ජයග්‍රහණය ලබා ගැනීමට හේතු වූයේ මෙම 2023 වසරේදී ඇයගේ දුරකතනය වෙතට සම්ප්‍රේෂණය වූ එක්තරා ඓතිහාසික ඡායාරූපයක් මුල්කර ගනිමිනි. මෙම ඡායාරූපය වූයේ ක්‍රි: ව: 97 දී විදාරණය වූ ඉතාලියේ විසූවියස් ගිනි කන්ද පුපුරා යෑමේදී පිළිස්සුණු පත්‍රිකාවක කොටසකි. එම පත්‍රිකා කොටස ගිනි කඳු විදාරණයේදී බාගයට දැවී ඉතිරි වූ පොම්පේයි නගරය අසල වූ හර්කියුලේනියම් නගරයේ තිබූ සුඛෝපභෝගී රෝම නවාතැන් හලක තිබූ විශාල පැපිරස් පත්‍රිකා තොගයකින් එකකි.

ශත වර්ෂ ගණනාවක් තිස්සේ කිසිදු පුරා විද්‍යාඥයෙකුට මෙම පත්‍රිකා කියවාගත නොහැකි වූ අතර, නිකොලාර්දිට එම අවස්ථාව උදාවීමට විශේෂ හේතුවක් තිබිණි. එය නම් ඉතාලියේ නේපල්ස් විශ්වවිද්‍යාලයේ කියවිය නොහැකි දේවල් කියවා තේරුම් ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදවා ගැනීමේ ව්‍යාපෘතියකට ඇය සම්බන්ධ වීමය. ඇය එම විශ්වවිද්‍යාලයේ පැපිරස් පත්‍රිකා අධ්‍යයනය පිළිබඳ විශේෂඥවරියක ලෙස කටයුතු කිරීම මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ කර ගැනීමට මූලික සුදුසුකමක් වී තිබිණි.

කෘත්‍රිම බුද්ධිය ඇසුරින් හෝ මෙම පත්‍රිකා කියවා ගැනීමට මගක් පෑදීම ගැන සතුටට පත්ව සිටින ඇය පවසන්නේ තමන්ගේ ක්‍ෂේත්‍රය තුළ ඓතිහාසික ජයග්‍රහණයක් සමරමින් සිටින බවය. මේ මොහොත වන විට විසූවියස් අභියෝගය නමින් ස්ථාපිත කර ඇති මෙම ව්‍යාපෘතිය බැංකුකරණයේ සිට වෛද්‍ය විද්‍යා පරීක්ෂණ දක්වා විශාල පරාසයක් තුළ කෘත්‍රිම බුද්ධිය පැතිරෙමින් පවතින බවට පැහැදිලි උදාහරණයකි.

මේ මොහොතේ අපගේ කතිකාවට බඳුන් වන පෞරාණික ලේඛන කියවීම නම් කාරණය උදෙසා කෘත්‍රිම බුද්ධිය විසින් යොදා ගනු ලබන්නේ නියුරල් නෙට්වර්ක් නමැති තාක්ෂණයකි. ලේඛනාගාරවල ඇති පෞරාණික ලේඛන ප්‍රමාණයක් ඉතා කෙටි කලක් තුළ කියවා ගැනීමටත්, එම ලේඛනවල ඇති දැනට නොමැති සහ කියවීමට නොහැකි අක්ෂර තේරුම් ගැනීමටත් මෙම තාක්ෂණය මහත් උපකාරයක් වී තිබේ. මේ හැරුණු කල මේ වන විට අතුරුදන්ව සහ ඉතා සුළු අක්ෂර ප්‍රමාණයක් ඉතිරිව ඇති භාෂාවන්ට නැවත ප්‍රාණය ලබා දීමටත් මෙම නියුරල් නෙට්වර්ක් තාක්ෂණයෙන් කිව නොහැකි තරමේ උපකාරයක් ලැබේ.

සාමාන්‍ය මිනිසකුට කිසිසේත් මතක තබාගත නොහැකි ආකාරයේ අප්‍රමාණ භාෂා ප්‍රමාණයක් ගබඩා කරගත හැකිවීම නිසා ද ඒ පිළිබඳ පර්යේෂණවල යෙදෙන්නන්ගේ කාර්යයන් කිව නොහැකි තරම් පහසු වී විශාල වශයෙන් කාලයද, ශ්‍රමයද ඉතිරි කර ගැනීමට අවස්ථාව උදාවී තිබේ.

උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක්කේ ක්‍රි: පූ: 2000 පමණ බැබිලෝනියාවේ පැවැති පරිපාලනයට සහ නීතියට අදාළ පාඨ විශාල සංඛ්‍යාවක් අතුරුදන් වී තිබූ අක්ෂර නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉතා සාර්ථක ලෙස කෘත්‍රිම බුද්ධිය භාවිතා කර තිබේ. ඒ අනුව ඉතිහාසඥයින්ගේ, පුරා විද්‍යාඥයින්ගේ සහ මානව විද්‍යාඥයින්ගේ කාර්ය භාරයන් සඳහා ගතවන කාලය වසර ගණනාවකින් අඩුකර දීමට මෙම නියුරල් නෙට්වර්ක් යෙදවුමට හැකිවී තිබේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය විසින් භාෂා කටයුතු අරබයා ඉතා ප්‍රබල ලෙස තම හපන්කම විදහා දැක්වූ පළමුවෙනි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබුවේ 2017 දීය. එය සිදු කරනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේදීය.

ඒ මොහොත වන විට මෙහි තිබූ පැරණි ලිපි ලේඛන පත්ව තිබුණේ කිසිසේත්ම කියවීමට පහසු තත්ත්වයක නොවේ. එමෙන් ම ඒවායේ ආරක්ෂාව පිළිබඳ කටයුතු අඩපණ වීම නිසා කොටස් ගණනාවක් විනාශ වී තිබුණි. බොහෝ ලේඛනවල ලැබුණු මූලාශ්‍ර සහ දින වකවානු පවා සොයාගත නොහැකි විය. එමෙන්ම සුරක්ෂිතව තිබූ ලේඛන ද කවර භාෂාවකට අයත්දැයි නිශ්චිතව තෝරා බේරා ගත නොහැකි තත්ත්වයට පත්ව තිබුණේ විවිධ භාෂාවන් එකට මිශ්‍රව තිබූ නිසා ය. නමුත් ඉතාමත් විශ්මයජනක අයුරින් පයිතියා නමැති කෘත්‍රිම බුද්ධිය යෙදවුම උපයෝගී කර ගනිමින් මේ සියල්ල එකලස් කර ගැනීමට ඔවුනට හැකි වී තිබේ. කි:පූර්ව: 7 වැනි සියවසේ සිට 5 වැනි සියවස දක්වා වූ, පැරණි ලිපිලේඛන දස දහස් ගණනක් මේ සඳහා පිරික්සා බැලිණි. වඩාත් ප්‍රාතිහාර්ය ජනක සිද්ධිය වන්නේ කෘත්‍රිම බුද්ධිය විසින් යම්කිසි පාඨයක් පමණක් අධ්‍යයනය කර අතුරුදන් වූ වචන සහ අකුරු යෝජනා කිරීමය.

ඊට අමතරව තවත් දියුණු අදියරකට ළඟා වූ කෘත්‍රිම බුද්ධිය අප කිසිවකු නොදන්නා පාඨයක් අධ්‍යයනය කර එය ලේඛන ගත කළ කාලය සහ මූලාශ්‍ර ගැන යෝජනා කිරීමටත් සමත් වී තිබේ. මෙම යෙදවුම හඳුන්වනු ලැබුවේ ..ඉතකා.. යනුවෙනි. ඉතකා උපත ලැබුවේ 2022 දීය.

ට්‍රාන්ස්ෆෝමර් මොඩ්ල් නමැති තාක්ෂණ අදියර බිහි වූයේ ඉන් අනතුරුවය. ලෝකයේ ඇති ඉතා සංකීර්ණ භාෂා රටා හඳුනා ගැනීම සඳහා යොදවනු ලබන මෙම තාක්ෂණයෙන් දැනට වැඩිම ප්‍රයෝජනයක් ලබා ගනිමින් සිටින්නේ කොරියානු භාෂා විශේෂඥයින් සහ පුරා විද්‍යාඥයන් විසිනි.

එයට හේතුව 14 වැනි සියවසේ සිට 20 වැනි සියවසේ ආරම්භය දක්වා සිටි රජවරුන් 27 දෙනෙකුගේ දෛනික වාර්තා අති විශාල ප්‍රමාණයක් කොරියානු කෞතුකාගාරය සතුව පැවතීමය. ලෝකයේ සුවිශාලම ලේඛනාගාරවලින් එකක් ලෙස සැලකෙන මෙම කෞතුකාගාරයේ ලේඛන ගබඩා වී ඇත්තේ දහස් ගණනින් නොව, ලක්ෂ ගණනින් බව පැවසේ.

අනෙකුත් රටවලට වඩා කොරියාවේදී ඇති වූ විශේෂත්වය වන්නේ එම සියලු ලිපි ලේඛන සුරක්ෂිතව පැවැතීමය. චීන අක්ෂර පාදක කරගත් හංජා නමැති ලේඛන ශෛලියක් භාවිතා කරමින් ලියා ඇති මේවා කියවීමට හැකි කිසිදු පුද්ගලයෙකු එහි නොවීය. ඒ පිළිබඳ නිරන්තර උත්සාහයකින් කටයුතු කරන එක්තරා විද්වතකු රට පුරා සිටින්නන්ගෙන් කුඩා කණ්ඩායමක් තෝරා බේරා ගනිමින් යම් උත්සාහයක යෙදී සිටියි. එහෙත් මෙම ලිපි ලේඛන කන්දරාව දෙස බලන කල එම කාර්යය අවුරුදු දහස් ගණනකින්වත් සම්පූර්ණ කරගත නොහැකි බව මෙම විද්වතා වටහා ගෙන තිබිණි. දැනට විශ්‍රාමිකව සිටින භාෂාව සහ සාහිත්‍යය පිළිබඳව සාකච්ඡා කළ හෙතෙම ඒ සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය.

බටහිර දියුණු රටවල මෙවැනි තත්ත්වයක් පවතිද්දී අප රටෙහි දේශප්‍රේමී කොටස් මේ පිළිබඳව යම් බියක් ඇතිකර ගැනීමට හේතු වී තිබෙන්නේ ලොව පුරා කෞතුකාගාරවල ඇති පුස්කොළ පොත්වලින් ඉතා වැඩි කොටසක් අප රටට අයත් ඒවා වන බැවිනි.

ඊළඟ වැදගත්ම කරුණ වන්නේ ඒවායින් වැඩි ප්‍රමාණයක් අප රටෙහි වෛද්‍ය ශාස්ත්‍රය ගැන ලියවුණු පොතපත වන බැවිනි. ඔවුන් මෙම වෙද පොත්වල ඇති ශාස්ත්‍රීය දැනුම සහ තවත් සමහර කෘතිවල ඇති තාක්ෂණික දැනුම ඔවුන් විසින් සොර ගනු ඇතැයි යන්නය.

එහෙත් මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රාමාණිකයින් පවසන්නේ මේ සෑම ග්‍රන්ථයකම තවත් පිටපතක් මෙරට තුළ ඇති බවය. ඒවා සමහර විට 3-4 ක් විය හැකි වන අතර, ත්‍රිපිටකයේ ඇතැම් පිටපත් 60-70 ක් පමණ තිබිය හැකි බව ඔවුන්ගේ අදහසයි. එහෙයින් අප රටෙහි මේ පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් විසින් කළ යුත්තේ ඒවා විධිමත් අයුරින් සංරක්ෂණය වී දැයි සොයා බලා, රාජ්‍ය අනුග්‍රහය හෝ පෞද්ගලික අංශයේ අනුග්‍රහය සහිතව එම දැනුමෙන් රට ජාතියට ප්‍රයෝජනයක් ලබා ගැනීම බව ඔවුන්ගේ අදහසයි.

මෙහිදී රටෙහි පැරණි කෞතුක වස්තූන් ආරක්ෂා කර ගැනීමෙහි ලා අප තුළ ඇති උදාසීනභාවය හේතුවෙන් ඒවාට අත්වී ඇති ඉරණම කොයි ආකාරදැයි යන්න මෙරටට අමුතුවෙන් කිවයුතු නොවේ. මහජනතාවගේ ඡන්දයෙන් පත් වූ රාජ්‍ය නියෝජිතයකුගේ මූලිකත්වයෙන් කුරුණෑගල පිහිටි බුවනෙකබා රාජ්‍ය සභා මණ්ඩපය කඩා බිඳ දමා ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කිරීම ගැන සඳහන් කිරීමම ඒ සඳහා පෙන්වා දිය හැකි හොඳම උදාහරණයකි.

අනෙක් පැත්තෙන් අප රටේ පුරා වස්තූන් සංරක්ෂණය වෙනවා නම් එසේ වන්නේ මුරගලෙහි සිට සඳකඩ පහණ ඇතුළුව සොරා ගන්නා සොර නඩය ඒවා විකිණීමට ගබඩා කර තබන කාලය තුළ පමණක් යයි කීම එතරම් දරුණු ප්‍රකාශයක් නොවන බව පෙනේ. පවතින තත්ත්වය අනුව කෞතුකාගාරයෙහි සිංහාසනය සහ ඔටුන්න බේරී තිබීම ගැන අප සතුටු විය යුත්තේ එක්තරා කාල පරිච්ඡේදයක මෙරට තුළ සිදු වූ දේ ගැන කතාබහ කරන කල්හිය. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ පුරාවස්තු කොල්ලකරුවන් මෙරට පෞරාණික පුස්කොළ පොත් ද කිසිසේත්ම අමතක කර දමා නැති බවය. අනෙක් බොහෝ රටවල මෙන්ම මෙම සොරකම් පසුපස සිටින්නේ ද දේශපාලනඥයින් බව රහසක් නොවේ. එබැවින් මේ මොහොතේදී අප විසින් කළ යුතු ඇත්තේ පුස්කොළ පොත් කෞතුක භාණ්ඩ වශයෙන් රැක ගන්නා අතරම ඒවායේ ඇති දැනුම කෞතුක සංකල්ප බවට පත්වී වියැකී යෑමට ඉඩ නොදී ඉස්මතු කර ගැනීමය. මක්නිසා ද යත්. විජාතිකයින්ට අවශ්‍ය නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදවා ලංකාව තුළදීම මෙම දැනුම සොරාගත හැකි බැවිනි.

ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් සංරක්ෂණය ගැන ලංකාවේ විද්වතුන් තුළ පමණක් නොව, එංගලන්තයේ හිටපු එළිසබෙත් මහා රැජන තුළ පවා කිසිදු පැහැදීමක් තිබී නැති බව කියවෙන කතාවක් පසුගිය දිනක එක්තරා රූපවාහිනී වැඩ සටහනක් තුළින් අසන්නට ලැබිණි.

මෙම වැඩසටහනට සහභාගි වූ එක් පුද්ගලයෙකු පැවසූවේ අතීතයේ දිනක මහා රැජනගේ මවගේ ආබාධයකට ප්‍රතිකාර ලබා දෙනු පිණිස ලංකාවේ ප්‍රකට හිමි නමකට ආරාධනාවක් ලැබුණු බවය. වෙදකම පිළිබඳ දැනුවත් භාවයෙන් මෙන්ම සිල්වත් බවින්ද යුත්, මේ හිමිපාණන්ගේ ප්‍රතිකාර වලින් රැජනගේ මව් බිසව සුවපත් වූ අතර, එයට ප්‍රති උපකාරයක් වශයෙන් කැමැති දෙයක් සඳහන් කරන මෙන් එළිසබෙත් රැජනිය හිමිපාණන්ට දන්වා තිබේ.

උන්වහන්සේට මෙරට හෝ ලංකාවේ අංග සම්පූර්ණ විහාරස්ථානයක් අවශ්‍ය නම් සාදා දිය හැකි බවද එතුමිය පවසා තිබේ. නැතිනම් වටිනා යාන වාහනයක් හෝ විශාල මුදලක් පරිත්‍යාග කිරීමට ද මහා රැජින යෝජනා කර තිබේ.

ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ උන් වහන්සේගේ එකම ඉල්ලීමක් කර තිබේ. එය නම් තමන්ගේ රටින් ගෙන ආ පුස්කොළ පොත් ආපසු ගෙනයෑමට අවසර දෙන ලෙසය. රැජින ඒ පිළිබඳව දින දෙකකින් පිළිතුරක් දීමට කල් ගත් අතර, අවසානයේ දී පවසා ඇත්තේ එයට අවසර දිය නොහැකි බවය.

ඉන් අනතුරුව රැජින එයට හේතුව ද පවසා ඇත. නිදහස ලැබීම වෙනුවෙන් තම රටට රැගෙන ආ වටිනා වස්තූන් කිහිපයක් තම රජය විසින් ආපසු දුන් බවත්, එහිදී සිංහාසනය සහ ඔටුන්න ඇතුළු කෞතුක භාණ්ඩ සමග වීර කැප්පෙටිපොළ නිලමේගේ හිස් කබල ද බාරදුන් බව එතුමිය සිහිපත් කර තිබුණාය.

විශේෂයෙන්ම වීර කැප්පෙටිපොළගේ හිස සිංහලයන් විසින් මහත් ගෞරවාදරයෙන් සංරක්ෂණ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූයේ යයිද ඇය අප හිමිපාණන්ට පවසා තිබේ. එහෙත් ශ්‍රී ලාංකිකයෝ එම වීර පුරුෂයාගේ හිස් කබල සංරක්ෂණය කරනු වෙනුවට වළලා දමා එතැන කණුවක් සිටුවීම පමණක් යයි ද උන් වහන්සේට සිහිපත් කර දුන්නා ය. එබැවින් මේ වටිනා පුස්කොළ පොත්වලට එවැනි ඉරණමක් අත් වෙනවාට වඩා හොඳින් සංරක්ෂණය වෙමින් රජ මාලිගාවේ තැන්පත්ව තිබීම යහපත් බවය.

තිස්ස ප්‍රේමසිරි

උපුටා ගැනීම දිවයින online පුවත්පත. 

Post a Comment

0 Comments